භාවනාව සාර්ථක කරගැනීම සඳහා අපට දහම් දැනුම හොඳට වුවමනයි, කළබලය නැතිවිය යුතුයි, පුරුදු කරනවා කියන හැඟීමෙන් අපි කටයුතු කළයුතුයි, ටික ටික කර කර පුරුදුවිය යුතුයි, අඛණ්ඩ වැඩපිළිවෙලක් විදියට භාවනාව පුරුදු වියයුතුයි. ඊළඟට විශේෂ ම දේ තමයි, අපි කළ්‍යණ මිත‍්‍ර ඇසුරේ පුහුණුවිය යුතුයි. නොදන්නා දේ අසා දැනගන්ට තරම් නිහතමානීබවක් තිබිය යුතුයි. අන්න ඒ කාරණා වලින් යුක්ත වුණොත්, අපිට සාර්ථකව භාවනාවක් පුරුදුවෙන්ට පුළුවන්කම තියෙනව.”හිත කාමයන් ඔස්සේ දුවනවද?” කියල අපි තෝර බේරගන්ට ඕන. ඊළඟට “හිත විසිරෙනවද?” කියලත් අපි තෝර බේරගන්ට ඕන. ඊළඟට “හිත හැකිලෙනවද?” කියලත් තෝර බේරගන්ට ඕන, හඳුනගන්ට ඕන. ඊළඟට “හිත ථීනමිද්ධයට ගොදුරු වෙනවද?” කියලත් හඳුනගන්ට ඕනැ.
මේ ස්වභාවයන්ගෙන් හිත නිදහස් වුණොත්, භාවනා අරමුණේ පහසුවෙන් හිත තියෙනවා. එහෙනම් අපි සිහිය උපදවාගෙන, “කාමයන් ඔස්සේ හිත දුවනවද” කියල තේරුම්ගෙන,කාමයන් ඔස්සේ දුවන හිතට පිළියම් යොදල, හිත කාමයන්ගෙන් මුදවගෙන, භාවනා අරමුණට හිත යොමු කරගන්ට දක්‍ෂවෙන්ට ඕන. ඒ වගේම හිත විසිරෙනවනම්, ඒ විසිරීමෙන් නිදහස් කරගෙන, හිත සංසුන් කරගෙන, භාවනා අරමුණට හිත පිහිටුවාගන්ට දක්‍ෂවෙන්න ඕන. ඒ වගේ ම හිත හැකිලෙනවනම්, ඒ හැකිලීමෙන් නිදහස් කරගෙන, හිත අවදිකරගෙන, භාවනා අරමුණේ හිත පිහිටුවාගන්ට දක්‍ෂවෙන්ට ඕන. ඒ වගේ ම ථීනමිද්ධයට ගොදුරුවෙනවනම්, ථීනමිද්ධය බැහැරකරගෙන, සිත භාවනා අරමුණට ගන්න දක්‍ෂවෙන්ට ඕනැ. ඒ සඳහා සිහි නුවණ පාවිච්චිකරන්ට ඕනැ. වීරිය පාවිච්චිකරන්ට ඕනැ. කළබලවෙනකොට මේ මොනවත් කරන්ට බෑ, දහම් දැනුම නැතිකෙනාටත් මේ මොනවත් කරන්ට බෑ, කළ්‍යණ මිත‍්‍ර ඇසුර නැතිකෙනාටත් මේ මොනවත් කරන්ට බෑ.
යම් කෙනෙක් “පැයක් දෙකක් මම භාවනාවෙන් ඉන්නම්” කියල වාඩිවෙලා ඉන්නවා. එක්කො නිදාගෙන ඉන්නව. එහෙම නැත්තම් කාමයන් ගැන හිත හිතා ඉන්නව. සමහර විට දකින කෙනාට පෙනෙයි “මෙයා පැයක් ඉඳගෙන ඉඳල” කියල. සමහර විට පැයක් ඉඳගෙන ඉඳල තියෙන්නේ,නිදියගෙන. එහෙම නැත්තම් කාමයන් ගැන හිත හිත ඉඳල. එහෙම නේද සමහර අයට වෙන්නෙ? පැයක් හමාරක් ඉඳගෙන ඉන්නව. නමුත් සිහිනුවණ නෑ.එතකොට භාවනා අරමුණේ හිත පවතින්නෙ නෑ. ඒ නිසා අපි භාවනා කරන්ට ඉඳගෙන ඉන්න කාලය නෙමෙයි වඩා වැදගත් වෙන්නෙ, කාලය ටිකක් වුණත් කමක් නෑ, අකුසලයන්ගෙන් හිත මුදවගෙන, සිහිය උපදවාගෙන, භාවනා අරමුණේ හිත පවත්වන්ට පුළුවන්නම්,එයා තමයි සාර්ථක. අපි හිතමු විනාඩි පහයි එයා ඉන්නෙ. ඒ විනාඩි පහ තුළ එයාට පුළුවන්නම් අකුසලයන්ගෙන් සිත බැහැරකරගෙන, සිහිය උපදවාගෙන භාවනා අරමුණේ හිත පවත්වන්ට, එයා සාර්ථකයි. ඒ විදිහට සිහි නුවණ උපදවගෙන භාවනා කරන කෙනා යම් දවසක ටික ටික භාවනා කරන කාලය වැඩි කරල, බහුල වශයෙන් ඒ භාවනාව පුරුදු කරන්ට දක්‍ෂයෙක් බවට පත්වෙනව.
යම් කෙනෙක් ඉන්නව සිහි නුවණ උපදවාගෙන, අකුසලයන් බැහැරකරගෙන, භාවනා අරමුණේ හිත පවත්වන්ට දක්‍ෂවෙන්නෙ නෑ. එයා බලන්නෙ භාවනා කරන කාලය වැඩිකරන්ට. එයා වැඩිවෙලාවක් ඉඳගෙන ඉන්ට බලනව. බාහිරට පෙනෙයි මෙයා ගොඩක් භාවනා කරනව කියල. නමුත් එයා සාර්ථක කෙනෙක් නෙමෙයි. ඒ කාරණාව කිව්වේ, සාමාන්‍ය කෙනාගේ හිතේ අදහසක් තියෙනව, බාහිරට සාර්ථකත්වයක් පෙන්වන්ට. එහෙම තියෙනවද? නැද්ද? බාහිර ලෝකයාට තමන්ගේ සාර්ථකතවය පෙන්වන්න අදහසක් තියෙනව. ඒ සාර්ථකත්වය පෙන්වන්ට ගන්න වෑයමක් විදිහට සමහර විට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්ට උත්සාහ ගනී. බලන්න හිතට තට්ටු කරල. අන්න ඒ ලාමක ඉච්ඡාව අතහරින්න. ලෝකයට පේන්ට නෙමෙයි අපි මේව කළයුත්තේ. අපි මේව කළයුත්තේ දුකින් නිදහස්වීම පිණිසයි. අපි මේව කළයුත්තේ යම් සාර්ථකත්වයක් තමා තුළ ඇතිකරගන්ටයි. ලෝකයට හුවා දක්වන්න කිසි දෙයක් අපිට නෑ. ඒ නිසා “මම මෙච්චරක් වෙලා ඉඳගෙන හිටියා” කියන කාරණාව සාර්ථකත්වය නෙමෙයි. අසාර්ථකවීමට ඉඩකඩක් ඒක. එතනින් එන්නෙ ආඩම්බරය පමණයි. ඒ නිසා “මම ඉඳගෙන ඉන්නෙ කොච්චර වෙලාවක්ද” කියන එක නෙමෙයි බැලිය යුත්තේ. විනාඩි පහක් හරි කමක් නෑ, “මම සිහියෙන් ඉන්නවද?” කියල බලන්න. කෙනෙක් අහන්න පුළුවන් “ඔයා පොඞ්ඩනේ භාවනා කළේ” කියල. “අනේ මට මෙච්චරයි පුළුවන්, මොකද කරන්නෙ” කියන්න. “මම ටික ටික පුරුදුවෙනව” කියන්ට.එතකොට ඒක ඉවරයි. මේකෙ රේස් දිවීමක් නෑ. තරඟයට නෙමෙයි කටයුතු කළයුත්තේ. අපි බලන්ට ඕනැ අවම වශයෙන් හරි කමක් නෑ සාර්ථකතවයක් ඇතිකරගන්ට. එහෙනම් විනාඩි පහක් හරි කමක් නෑ සිහිය උපදවගන්ට උත්සාහකරන්න. එයාමයි සාර්ථක වෙන්නේ. සිහිය ඉපදිලා නැත්තම්, සිහිය උපදවා ගෙන නැත්තම්, සිහිය උපදව ගන්න දක්‍ෂ නැත්තම් මුලූ දවස ම ඉඳගෙන හිටියත් ඒකෙනා වැඩක් නෑ. ඒ නිසා විනාඩි පහ පහ හරි කමක් නෑ සිහිය උපදවගෙන භාවනාව පුරුදුවෙන්න. හොඳින් සිහිය උපදවාගෙන ඒ සිහිය පවත්වන කෙනාට ක‍්‍රමයෙන් කාලය වැඩිකරගන්ට පුළුවන් කමක් එනවා.
අපි හිතමු කෙනෙක් ඉන්නවා මෛතී‍්‍ර භාවනාව වඩන්ට උත්සාහ කරනව. එයා හිතනව, “මම අද පැයක් මෛත‍්‍රිය වඩනව” කියල මෙයා උත්සාහකරනව. දන්නෙම නෑ මෙයා එක්කො නින්දට වැටෙනව, නැත්තම් හිත හැකිලිලා යනවා, නැත්තම් කාමයන්ට ගොදුරුවෙනව, නැත්තම් හිත විසිරෙනව, ඉතින් මෙයාගේ උත්සාහය තියෙන්නෙ පැයක් ඉන්නව කියල. ඉතින් මෙයා පැයක් ඉන්නව. සමහර විට නින්දගියොත් පැය දෙක තුනක් ඉඳියි. ඉතින් එයා හිතනව”අද මම මෙච්චරවෙලා ඉඳගෙන හිටිය” බලන් ඉන්න කෙනත් හිතනව “හප්පේ… මෙයා ගොඩක් වෙලා ඉඳගෙන හිටිය. අනේ… මට බෑනේ” කියල බලන් ඉන්න කෙනා පැත්තක ඉඳල දුක්වෙනවා.
තව කෙනෙක් ඉන්නව, එයා හිතනව “මට පුළුවන් විදියෙන් මම පොඞ්ඩ පොඞ්ඩ කරනව”කියලා. එයා ඔන්න ඇවිල්ල ඉඳගෙන විනාඩි දෙකක් මෛත‍්‍රිය වඩනව. එයා ආපහු පොඞ්ඩක් සක්මන් කරනව. ආයිත් විනාඩි දෙකක් මෛත‍්‍රිය වඩනව. පොඞ්ඩක් සක්මන් කරනව. ආයිත් විනාඩි දෙකක් මෛත‍්‍රිය වඩනව. සක්මන් කරනව. අපි හිතමු මෙයා මෙහෙම දවසට තිස් වතාවක් කළා කියල. විනාඩි දෙක බැගින් තිස් වතාවක් මෙයා පොඞ්ඩක් සක්මන් කරනව, විනාඩි දෙකක් සිහියෙන් මෛත‍්‍රිය වඩනව. මෙහෙම කර කර සිහි නුවණ උපදවගෙන වාසය කරනවා. අනිත් කෙනා පැයක් ඉඳගෙන ඉඳල හැබැයි නින්ද ගිහිල්ල. නමුත් බලන් ඉන්න කෙනා කවුරු සාර්ථකයි කියලද හිතන්නෙ? පැයක් ඉඳගෙන හිටපු කෙනා සාර්ථකයි කියල නේද හිතන්නෙ. ඇත්තෙන්ම සාර්ථක කවුද? අර විනාඩි දෙක බැගින් තිස් වතාවක් කරපු කෙනා, පැයක් මෛත‍්‍රී වඩල. කලක් මේ විදියට පුරුදු කළොත් එයාට සාර්ථකව භාවනාව පුරුදුවෙන කෙනෙක් බවට පත්වෙන්ට පුළුවන්. ඇයි..? එයා කළ දෙයින් සතුටු වෙනව, “මම විනාඩි දෙක බැගින් මෙත් සිත වැඩුවා” කියල. එයාගෙ මුළු කාලෙ ගත්තොත් පැයකට වඩා මෙත් සිත වඩල. අර අනවශ්‍ය වීරියක් ගත්ත කෙනා ඉඳගෙන ඉඳල නින්ද ගිහිල්ල, එච්චරයි. එයා දුක්වෙනව “අපරාදෙ මම ඉඳගෙන හිටිය නින්ද ගියා” කියල. අදත් අසාර්ථකයි කියල තමයි නැගිටින්නෙ. දක්‍ෂයා එහෙම නෑ. එයා ටික ටික කරල සතුටුවෙනවා, “මම ටික ටික පුරුදුවුණා. එයා දවසෙම සතුටින් ඉන්නෙ” අන්න ඒක තමයි සාර්ථකවීමේ ක‍්‍රමය. ඒ විදිහට සාර්ථක වෙන කෙනා ක‍්‍රමක් ක‍්‍රමයෙන් කාලය වැඩිකරනවා, සිහිනුවණ දියුණුවීමත් සමගම. කලක් යනකොට එක දිගට දීර්ඝ කාලයක් භාවනා කරන්ට එයාට පුළුවන් වෙනවා.
මේ පින්වතුන් දක්‍ෂයිනම්, අන්න ඒ සාර්ථකවීමේ ක‍්‍රමය අල්ලගන්න. ඒ කියන්නෙ මුළු ජීවිතේ ම විනාඩි දෙක දෙක කරන්න කියලද? නෑ… නෑ… පොඩි වෙලාවෙන් පටන්ගන්න කෙනාට කලක් යද්දී දීර්ඝ වෙලාවක් හොඳින් භාවනා කරන්ට පුළුවන් කමක් එනව. ඒකයි ආරම්භයේදී ම පුහුණු වෙනවා කියල පටන්ගත යුත්තේ. පුහුණු වෙන කෙනා ටික ටික කරනවා. ඒ පුහුණුවත් සමග එයා බහුල වශයෙන් භාවනා කරන්ට පුළුවන් කෙනෙක් බවට පත්වෙනව. හොඳයි එහෙනම් අපි ආශිර්වාද කරනවා සියලූ දෙනාට ම සාර්ථකව බණ භාවනා පුහුණුකරගන්ට හැකියාව උදාවේවා ! කියල.
නාවලපිටියේ අරියවංශ හිමි
බුදුසරණ පුවත් පතේ පළ වූ ලිපි ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>